මාපිය වන්දනා | ශ්‍රී බුද්ධ වර්ෂ 2560 | ව්‍යවහාරික වර්ෂ 2017 අටවන කලාපය
ආදරණීය දුවේ පුතේ, උපදින්න බොහෝ තැන් තිබිය දී ම යි අපට පින තිබුණේ මනුස්ස ලෝකයට එන්න. පෙර ජීවිතයේ හිටපු කවර හෝ තැනක දී අපේ මරණය සිදු වුණා. ඒ මැරුණු මොහොතෙ ම අපි අපේ අම්මාගේ කුසේ පිළිසිඳ ගත්තා. මේ මනුස්ස ලෝකයේ උපදින්න ඒ ආකාරයෙන් පිළිසිඳ ගැනීම සිදු වෙනවාත් එක්ක ම මේ ජීවිතයේ අපට අම්මාත්, තාත්තාත් හිමි වුණා. ලෝකයේ වෙන කිසි ම කෙනෙකුට ඒ ඥතීත්වයට උරුමකම් කියන්නට බැහැ. ඒ තැනට ආ හැකි දෙවැන්නෙක් ලෝකයේ කොහේවත් නෑ. අපට මිනිස් ලෝකයේ උපත තහවුරු කරපු ඒ අම්මටයි, තාත්තටයි සම වන කෙනෙක් මේ ජීවිතයේ මුණගැහෙන්නේ නැහැ. දරු සම්පතක් තමන්ටත් හිමි බව දැනගත්ත දවසේ පටන් අප මෙලොව එළිය දකිනකල් අම්මගෙත්, තාත්තගෙත් හිතේ මොන තරම් බලාපොරොත්තු ගොඩනැගෙන්නට ඇති ද? තමන්ට දරුවෙක් ලැබෙන්න සිටිනවා කියලා විතරයි ඔවුන් මුලින් දැන ගන්නේ.